විපක්ෂය මොන දේවල් කීවත් ඌවේ ජය අපිටයි
ඌවේ මැතිවරණයට අදාළව මානසික ප්‍රහාරයක් එල්ල වන බවට විපක්ෂය නඟන චෝදනාව බැහැර කරන බවත්, ඌවේ එවැනි ප්‍රහාරයක් පැවතියේ 1989දී එක්සත් ජාතික පක්ෂය බලයේ සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය ක්‍රියාත්මක වෙමින් තිබියදී බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පරිසර හා ස්වාභාවික සම්පත් සංවර්ධන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
විපක්ෂය කුමන ප්‍රකාශ කළත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඌවේ සියලු මැතිවරණ කොට්ඨාස ජයග්‍රහණය කරන බවත් හෙතෙම සඳහන් කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා මේ බව පැවැසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊයේ (15) පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී ඊයේ පැවැත්විණි.
මහ ලේකම්වරයා එහිදී මෙසේද පැවැසීය.
ඌවේ මැතිවරණයට අදාළව මානසික ප්‍රහාරයක් එල්ල වන බවට විරුද්ධ පක්ෂය මාධ්‍ය මඟින් චෝදනාවක් එල්ල කර තිබෙනවා. එහෙම එකක් නැහැ. ඒත් එදා 1989 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය නිසා මොනරාගල ඡන්ද පොළ 45ක ඡන්දය පැවැත්වීමට හැකිවූයේ නැහැ. ජාතික හැඳුනුම්පත් එකතු කර ගෙන යාම නිසා ඡන්දය දැමීමට හැඳුනුම්පත භාවිතා කිරීමට හැකිවූණේ නැහැ. මේවා තමයි මානසික ප්‍රහාර. නමුත් අපි එහෙම කළේ නැහැ.
එදා සුමේධා ජී. ජයසේන ඇමැතිනියගේ සැමියා මරා දැමුවා. ඡන්ද පොළ නිලධාරීන් හා ඡන්ද පොළ නියෝජිතයන් මරා දැමුවා. මේ දේවල් දැන් වයස තිහට අඩු තරුණ පිරිස දන්නේ නැහැ. ඒ නිසා අපි ඔවුන්ට ඒවා මතක් කර දෙන්න ඕනෑ. එදා මේ ප්‍රදේශවල විදුලි ට්‍රාන්ස්ෆෝමර් කඩා දැමුවා. ඒත් අද ඌවේ සියයට අනූ පහකටත් වඩා විදුලිය දී අවසන්. ඌවේ සෑම මැතිවරණ කොට්ඨාසයක් ම සන්ධානය ජයග්‍රහණය කරනවා.
ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙට (17) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතයි. එක්සත් ජනතා නිදහස් සන්ධනයේ අවසන් මැතිවරණ ප්‍රචාරක රැලි දෙක බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය ආසනයේත්, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ආසනයේත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඌව පළාත් මැතිවරණ ප්‍රචාරක කටයුතු බාරව එම ප්‍රදේශයේ මාස එකහමාරක පමණ කාලයක සිට නැවතී කටයුතු කරන අය විදිහට ඌවේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් ජනමාධ්‍යවල පළ කරන ආකාරයේ විශේෂත්වයක් අපි නම් දකින්නේ නැහැ. එහෙත් එම ප්‍රදේශවල ගම් නියම් ගම් පසුගිය වසර පහ ඇතුළත විශාල වශයෙන් දියුණුවට පත්ව ඇති බව නම් දකින්න ලැබෙනවා.
මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම නිසා එදා මෙන් බදුල්ලට යාමට පැය ගණන් ගත කිරීමට දැන් අවශ්‍ය වන්නේ නැහැ. එම ප්‍රදේශවල විදුලිය, ග්‍රාමීය මාර්ග වැඩිදියුණුවට අමතරව විශේෂයෙන් ම පාසල් පද්ධතිය සංවර්ධනය කිරීමට සන්ධානය බලයේ සිටි පසුගිය පළාත් සභාව පියවර ගෙන තිබෙන බව කැපී පෙනෙන ලක්ෂණයක්. මහින්දෝදය විද්‍යාගාර බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ ඇල්ල ප්‍රදේශවලට පමණක් 7 බැගින් ලබා දී තිබෙනවා.
එම ප්‍රදේශවල සෑම ක්ෂේත්‍රයක ම සංවර්ධනයක් සිදුව තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ තිබෙන පහසුකම් සියල්ල ම අද ඌවේ ජනතාවට ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා- එක්සත් ජාතික පක්ෂය බදුල්ලේ පත්තු කර තිබෙන්නේ පුස් වෙඩිල්ලක් බව මා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්න කැමතියි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය යටතේත්, ඌව හිටපු ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ පාලනය යටතේත් මේ ප්‍රදේශයේ අති විශාල සංවර්ධනයක් සිදුව තිබෙනවා. විශේෂයෙන් හිටපු ප්‍රධාන ඇමැතිතුමාගේ පාලනය යටතේ පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල සංවර්ධනයක් සිදුවුණා.
බදුල්ල දිස්ත්‍රික්කයේ බිම් මට්ටමේ ජනතාව රජය කෙරෙහි ඉතා යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ජනමාධ්‍ය ඔස්සේ එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය මඟින් පෙන්වීමට උත්සාහ දරන තත්ත්වය බදුල්ලේ බිම් මට්ටමේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා බදුල්ල දිස්ත්‍රික්කයෙන් සන්ධානය ඉතා ඉහළ ජයග්‍රහණයක් ලබා ගන්නා බව මගේ විශ්වාසයයි. මා එසේ කියන්නේ බදුල්ලේ නැවතී එහි විවිධ සමාජ තලවලට අයත් ජනතාව ආශ්‍රය කරමින් ලබා ගත් තොරතුරු පදනම් කර ගෙනයි.
වසර ගණනාවක් තිස්සේ ආර්ථික වශයෙන් පසුගාමී තත්ත්වයක පැවැති මේ ප්‍රදේශයේ සන්ධාන රජය යටතේ සිදුවූ සංවර්ධනය එහි ජීවත් වන කෘතවේදී ජනතාව අමතක නොකරන බව අපට විශ්වාසයි. මේ නිසා බදුල්ලේ එජාප පුස් වෙඩිල්ල අතේ පත්තු වන දිනය වැඩි ඈතක නැති බව කියන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු කියන්නේ බදුල්ලට අලුත් කෙනෙක් නොවෙයි.
ඔහු තමයි පක්ෂයේ බදුල්ලේ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේ. ඒ නිසා ඔහු කවුරුන්දැයි බදුල්ලේ ජනතාව හොඳින් හඳුනනවා. මැතිවරණ පරාජයෙන් පසු නැවත කොළඹ එන දිනය වැඩි ඈතක නෑ කියලා කියන්න කැමතියි. එජාපය අභ්‍යන්තරයේ දැන් විශාල බේදයක් ඇති වෙලා. එක් අයකු සියලුදෙනා අභිබවා නැඟී සිටින බවක් පෙනී යන නිසා ඔහුට එරෙහිව අනෙකුත් අය නැඟී සිටින තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා - අපේ රටේ අනාගත ගමන් මාර්ගය සම්බන්ධයෙන් වන අසිරිමත් සිදුවීම් දෙකක් පසුගිය සතියේ අපිට දකින්න ලැබුණා. කොළඹ කොටස් වෙළෙඳ පොළ ට්‍රිලියන 3ක් එනම් බිලියන 3000ක අගයක් පෙන්නුම් කිරීම එයින් පළමුවැන්නයි. මේ ප්‍රමාණය රටේ සමස්ත ආර්ථිකයෙන් සියයට දහයක් ලෙස පෙන්වා දිය හැකියි. මෙය මෙරට ආර්ථිකය පිළිබඳ විශ්වාසනීය තත්ත්වයක් පෙන්නුම් කරන්නක්, එසේම රටේ අනාගතයට බලපාන සුබවාදී සංසිද්ධියක් ලෙස පෙන්වා දිය හැකියි.
මා පෙන්වා දෙන දෙවැනි අසිරිමත් සිදුවීම වන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මේ දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. මෙම ප්‍රදර්ශනයට මේ වනවිට මිලියන දෙකකට ආසන්න ජනතාවක් පැමිණ තිබෙනවා. එයින් බහුතරය වන්නේ දරුවන්. ශ්‍රී ලංකාව කියවන සමාජයක් බවට පත්ව තිබෙන බව මෙහි අරුතයි. මේ දෙකම රටේ අනාගතය සම්බන්ධයෙන් වන ඉතා යහපත් දර්ශක ලෙස පෙන්වා දිය හැකියි.
එක්සත් ජාතික පක්ෂයේ බංකොලොත් බව පෙන්වන එක් සාධකයක් ඊයේ පෙරේදා මා දුටුවා. පක්ෂයේ මහ ලේකම්වරයා කියනවා පක්ෂයේ නායක හා උප නායක දෙපළ එක් වේදිකාවකට ගෙන්වීමේ කපුකම කළේ තමන් යැයි කියා. පක්ෂයේ නායක දෙපළක් සම්බන්ධයෙන් පක්ෂයේ ම නායකයෙක් මෙවැනි ප්‍රකාශයක් කිරීමම පක්ෂයේ බංකොලොත් බව පෙන්වන සාධකයක් ලෙසයි මා දකින්නේ. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්. ඔවුන්ගේ පක්ෂ සම්මේලනය නැති බේද ඇති කිරීමට හේතුවී තිබෙන බවයි පෙනී යන්නේ. තහවුරු නොවූ සාධක අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා දුන් අපේක්ෂකයකු තමන්ගේ අපේක්ෂකත්වයෙන් ඉවත් වෙන්නත් තීරණය කර තිබෙනවා.
චීන ජනාධිපතිතුමා අද (16) ශ්‍රී ලංකාවට පැමිණෙනවා. චීන නායකයකු මෙහි පැමිණෙන්නේ අවුරුදු 28කට පසුවයි. ජපාන අගමැතිතුමා පසුගිය 6වැනිදා මෙහි පැමිණියා. ජපානය හා චීනය කියන්නේ ලෝකයේ විශාල ම ආර්ථික පවතින රටවල් දෙකක්. එය අප අමතක නොකළ යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතා- බදුල්ලට මුස්ලිම් අපේක්ෂකයකු සන්ධානයෙන් ඉදිරිපත් නොකළේ එම ප්‍රදේශයේ සිංහල, මුස්ලිම් දෙපිරිස ඉතා සමඟි සම්පන්නව සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කරන නිසයි. බදුල්ලේ මුස්ලිම් ජනතාව තීරණය කර තිබෙන්නේ මේ ආණ්ඩුව සමඟ ඉදිරියට යන්නයි.
ඌවේ මැතිවරණ ප්‍රතිඵලයෙන් ජනාධිපතිතුමා කෙරෙහි ජනතා විශ්වාසය තව දුරටත් තහවුරු වේවි. එතුමා මුස්ලිම් ජනතා ඇතුළු මේ රටේ සියලු ජනතාව වෙනුවෙන් ලබා දෙන නායකත්වය මේ මැතිවරණයෙන් ද අනුමත කිරීමට මුස්ලිම් ජනතාව තීරණය කැර තිබෙනවා. බදුල්ල හා මොනරාගල ජනතාව තීරණය කර තිබෙන්නේ රජයේ ජයග්‍රහණය තවදුරටත් තහවුරු කරවීමට ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා 21වැනිදා වන විට මහ ඇමැති බවට පත් කිරීමටයි.
Source - www.dinamina.lk/2014/09/16/_art.asp