Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

අවබෝධතා ගිවිසුම ඉතා විනිවිද භාවයෙන් යුතු සහ රටට විවෘත එකක්‌

03 December, 2014

 අවබෝධතා ගිවිසුම ඉතා විනිවිද භාවයෙන් යුතු සහ රටට විවෘත එකක්‌

 

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්‌ක කර ගනිමින් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම ඉතා විනිවිද භාවයෙන් යුතු සහ රටට විවෘත එකක්‌ බව විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී ඊයේ 

(02 වැනිදා) මාධ්‍ය හමුවක්‌ අමතමින් පැවසීය.

තමා ජනාධිපති ධුරයට පත්වී පැය 24 ක්‌ ඇතුළත රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබාදෙනවා යෑයි කොතැනකවත් නොකී බවත් එය ආණ්‌ඩුව විසින් මවන ලද බොරුවක්‌ බවත්, විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකවරයා එහිදී සඳහන් කළේය.

විධායකය අහෝසි කර අසරණ දුප්පත් ජනතාවගේ බඩගින්න නිවන පුළුල් ජාතික වැඩපිළිවෙළක්‌ තමාගේ නායකත්වයෙන් යුත් රජයක්‌ යටතේ ඇති කරන බවත්, සදාචාරාත්මක සහ අධ්‍යාත්මික වශයෙන් උසස්‌ සමාජයක්‌ රටට උදාකරන බවත් පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය හා දුම්වැටි පාලනය සම්බන්ධයෙන් නව නීති රීති ගෙන ඒමට උත්සාහ දැරීම නිසා කැබිනට්‌ එකේදී තමා දෝෂාරෝපණයට ලක්‌වූ බවත්, ඖෂධ පනතටත් එම ඉරණම අත්වීම ගැන තමා අතිශය කණගාටු වන බවත් මෛත්‍රීපාල මහතා පැවසීය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ආණ්‌ඩුව ජනතාවට සහන පෙන්නුවත් තුන්වේල කන්න බැරි ජනතාවක්‌ මේ රටේ සිටින බවත් ඔවුන්ගේ කුසගින්න නිවීමට ස්‌ථිර වැඩපිළිවෙළක්‌ වත්මන් රජයට නොමැති බවත් මෛත්‍රීපාල මහතා කීය.

එම ජනතාව වෙනුවෙන් තමා රජයෙන් ඉල්ලූ කිසි දෙයක්‌ නොලැබුණු බවත් තමන්ගේ මැතිවරණ ප්‍රකාශය සහ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියේ දී එළිදක්‌වන බවත් මෛත්‍රීපාල මහතා සඳහන් කළේය. 

නොබෝදා ආණ්‌ඩුවෙන් ඉවත් වී තමාට සහාය දැක්‌වීම පිණිස පොදු විපක්‍ෂයට එකතු වූ නවීන් දිසානායක මහතා නිර්මාණශීලී දක්‍ෂ නායකයකු බව තමා කුඩා කළ පටන් හඳුනාගෙන සිටි බවත් එහෙත් මෙම රජය යටතේ ඔහුට තම දක්‌ෂකම් පෙන්වන්න තරම් අමාත්‍යාංශයක්‌ හෝ ඊට ප්‍රතිපාදන හෝ ලබා දුන්නේ නැති බවත් මෛත්‍රීපාල මහතා කීවේය.

ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ බිහිවූ විශාලතම බහුකාර්ය යෝජනා ක්‍රමය වූ මහවැලි ව්‍යාපාරය ඇතුළත් මහවැලි අමාත්‍යාංශය ගාමිණී දිසානායක මහතාගෙන් අනතුරුව තමාට හිමිවු බවත් අප දෙදෙනාම වසර 11 බැගින් එම අමාත්‍ය ධුරයේ කටයුතු කළ බවත්, එහිදී මහවැලි පුරෝගාමී ගාමිණී දිසානායක මහතාට තමා හැම විටම උපරිම ගෞරවය දැක්‌වූ බවත් මෛත්‍රීපාල මහතා සඳහන් කළේය.

මහවැලි ව්‍යාපාරය පමණක්‌ නොව රටට සාමය ගෙන ඒමටත්, ජාත්‍යන්තර වශයෙන්ද ගාමිණී දිසානායක මහතා කටයුතු කළ බවත් එහි ප්‍රතිඵලයක්‌ විදියට එල්.ටී.ටී.ඊ. ය ඔහුව ඝාතනය කළ බවත් මෛත්‍රීපාල මහතා පැවසීය. 

රට තුළ පසුගිය සතියේ දේශපාලන පෙරළි රාශියක්‌ සිදුවූ බවත්, ගාමිණී දිසානායක මහතාගේ පුත් නවීන් දිසානායක මහතා එහිදී පැහැදිලි වැදගත් තීරණයක්‌ ගෙන ඇති බවත් මෛත්‍රීපාල මහතා සඳහන් කළේය. 

එජාපය 77, 82 සහ 87 වසරවලදී ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් ගාමිණී දිසානායක මහතා සුවිශේෂ මෙහෙයක්‌ ඉටුකළ බවත් මහවැලි ව්‍යාපාරය පමණක්‌ නොව මහවැලි ප්‍රදේශද දියුණු කරමින් රටේ සංවර්ධනයට ගාමිණී දිසානායක මහතා කටයුතු කළ බවත් විපක්‍ෂ නායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්‌වීම සඳහා ගාමිණී දිසානායක මහතාගේ පුත් නවීන් දිසානායක මහතා පැමිණීම පිළිබඳව තමා එජාපය වෙනුවෙන් විශේෂයෙන් සතුටු වන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම මහවැලි නිර්මාතෘ ගාමිණී දිසානායක මහතාගේ පුත්‍ර රත්නය තවත් මහවැලි ඇමැති වරයකු හා සම්බන්ධ වීම විශේෂ සම්බන්ධකමක්‌ ලෙස තමා දකින බවත් කී විපක්‍ෂ නායකවරයා මෙම මැතිවරණය ජය ගැනීමට හැකියාව පොදු විපක්‍ෂය සතු බවත් සඳහන් කළේය.

ආණ්‌ඩුවෙන් ඉවත් වී පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්‌වීමට තමා තීරණය කර ඇති බව දැනගත් ආණ්‌ඩුවේ ඇතැම් පුද්ගලයන් රුපියල් මිලියන 100 ක්‌ දී තමන්ව ආණ්‌ඩුවේ නතර කර ගැනීමට පැමිණි බවත් එහෙත් තමා මුදල්වලට යටවෙන අයෙකු නොවන බව හිටපු ඇමැති නවීන් දිසානායක මහතා එම මාධ්‍ය හමුවේදී පැවසීය.

තමාගේ වචනය ගලේ කෙටුවා හා සමාන බවත්, කිසිම දෙයකින් නොසැලෙන තමන්a මෛත්‍රීපාල මහතා පොදු අපේක්‍ෂක වශයෙන් ඉදිරිපත් වනවා කිවූ දිනයේදීම මම එනවා යෑයි මෛත්‍රීපාල මහතාට කිවූ බවත් නවීන් දිසානායක මහතා කීය. 

එහෙත් මෛත්‍රීපාල මහතා ශ්‍රිලනිපයෙන් වෙන්වී පොදු විපක්‍ෂයට එකතුවනු ඇතැයි තමා අතීතයේ කිසි දිනෙක සිතුවේ නැති බවත්, තම පියා මෙන් දේශපාලනයේ සෘජු තීරණ ගැනීමට මෛත්‍රීපාල මහතාට ඇති හැකියාව ඉහළින් අගය කරන බවත් නවීන් දිසානායක මහතා පැවසීය.

ජාත්‍යන්තර කුමන්ත්‍රණ යනු හුදු දේශපාලන ලේබලයක්‌ පමණක්‌ බවත්, සෘජු නායකයෙක්‌ වන මෛත්‍රීපාල සිරිසේන මහතා කවදාවත් ජාත්‍යන්තර රූඩකයක්‌ නොවන බවට තමාට විශ්වාස බවත් නවීන් දිසානායක මහතා සඳහන් කළේය. 

අවුරුදු 38 ක කීර්තිමත් දේශපාලන ගමනක්‌ ඇති විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් ඒ හා සමාන චරිතයක්‌ බව පැවසු දිසානායක මහතා 2010 හා 2014 යන රටේ තීරණාත්මක අවස්‌ථාවන් දෙකකදී වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් සුවිශේෂ පරිත්‍යාගයන් සිදුකළ කෙනෙක්‌ බවත් ඒ මහතා පැවසීය.

සිගරැට්‌ හා දුම්කොළ පනත යට දමන්න මෛත්‍රීපාල මහතාට ඩොලර් ගණන් මුදල් දෙන්න ඇතැමුන් ඉදිරිපත් වූ බවත් මෛත්‍රීපාල මහතා ඒ මුදලට යට නොවුණත් එසේ එම මුදල් ලබාගත් පිරිස ඉදිරියේදී රටට හෙළි කරන බවත් දිසානායක මහතා කීවේය.

ඕනෑම අයෙකු තම නායකයා ලෙස පත්කර ගැනීමට රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්‌ ඇති බවත් හොරකම්, දූෂණ, වංචාව යන වචන මෛත්‍රීපාල සහ වික්‍රමසිංහ යන නායකයන්ට එරෙහිව පාවිච්චි කරන්න බැරි බවත්, ඔවුන් දූෂණයට, වංචාවට, හොරකමට විරුද්ධව නැගී සිටි නායකයන් බවත් දිසානායක මහතා කීවේය.

අද එජාපයේ ඡන්ද එකතුවෙලා තිබෙන බවත් කැඩිලා ගිය එජාප පාක්‍ෂිකයන් මෛත්‍රීපාල මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙරට එද්දී ශ්‍රිලනිප පාක්‍ෂිකයන් තුළ එම පක්‍ෂය පිළිබඳ විශාල කළකිරීමක්‌ හටගෙන ඇති බවත් දිසානායක මහතා සඳහන් කළේය.

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා තමා අතර යම් යම් අමනාපකම් කලකදී තිබුණු බවත් දැන් ඒ සියල්ල දුරු කරගෙන පොදු අපේක්‍ෂකයා දිනවීමට තමන් හා වික්‍රමසිංහ මහතා එකතු වූ අයුරින් දෙකට බෙදී වෙන්ව සිටි එජාප පාක්‍ෂිකයන්ද එකට එකතු වී ඇති බව දිසානායක මහතා කීවේය. 

පවුල් දූෂණයෙන් තොර යහ පාලනයෙන් හා විනිවිදභාවයෙන් යුතු පවිත්‍ර ආණ්‌ඩුවක්‌ හැදීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීමට තමා රනිල් වික්‍රමසිංහ මහතා සමග එකට අත්වැල් බැඳගත් බවත් දිසානායක මහතා එහිදී සඳහන් කළේය.

තමන් 17 දෙනෙක්‌ සමග එකල ආණ්‌ඩුවට එකතු වූයේ යුද්ධය අවසන් කිරීමේ පරමාර්ථයෙන් බවත් ඉන්පසුව ජනතාවට මෙම රජයෙන් කිසිම සහනයක්‌ ලැබුණේ නැති බවත් වතුකරයේ ජනතාව වෙනුවෙන් තමා ඉල්ලා සිටි කිසිම සහනයක්‌ ජනාධිපතිතුමා තමාට ලබා දුන්නේ නැති බවත් දිසානායක මහතා කීවේය.

මේ මොහොත වන විට ආණ්‌ඩුව විශාල අර්බුදයක සිටින බවත් ආණ්‌ඩුව ඇතුළේම දැන් ආණ්‌ඩුවට විරුද්ධව කැරැල්ලක්‌ ඇතිවී තිබෙන බවත් නොයෙක්‌ ආණ්‌ඩු බිඳ වැටුණේ ඇතුළෙන් ඇතිවූ මෙම පිපිරීම් නිසා බවත් දිසානායක මහතා පැවසීය.

මේ හේතුවෙන් ආණ්‌ඩුවට ජනාධිපතිවරණ කැම්පේන් එක කරන්නේ නැතිව යන කට්‌ටිය නවත්වා ගැනීමේ කැම්පේන් එකක්‌ කිරීමට සිදුවී ඇති බවත් ප්‍රතිපත්තිමය දේශපාලන ගමනක්‌ යන තමන් එම මුදලට යට නොවී ජනතාව වෙනුවෙන් පොදු අපේක්‍ෂකයා දිනවීමේ ඡන්ද සටනට එකතු වූ බවත් දිසානායක මහතා කීය.

 

Source - www.divaina.com/2014/12/03/news24.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks