දෙරණ වාද පිටිය ගිනියම් කළ කෝල් එක ආවේ රන්ජන්ගේ ෆෝන් එකෙන්

දෙරණ වාද පිටිය ගිනියම් කළ කෝල් එක ආවේ රන්ජන්ගේ ෆෝන් එකෙන්
'දෙරණ' රූපවාහිනි නාළිකාවේ පෙරේදා (3දා) විකාශය වූ 'වාද පිටිය' දේශපාලන වැඩසටහන අතරතුරදී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික ජීවිතයට අපහාස වන ආකාරයට ඇමැතුමක් ලබා දුන් දුරකතන අංකය සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකය කරනු ලැබූ පරීක්ෂණයේදී එම දුරකතනය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාට අයත් වූවක් බවට අනාවරණය කොටගෙන ඇත.
දෙරණ රූපවාහිනියේ පැවැති එම සජීවී දේශපාලන වැඩසටහනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද, රමේෂ් පතිරණ මන්ත්‍රිවරයාද, විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පෙරේරා, ජ. වි. පෙ. මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුද සහභාගි වූහ.
එහිදී රාත්‍රි 11.30ට පමණ ලැබුණු සජීවී දුරකතන ඇමැතුමකින් වැඩසටහනට සම්බන්ධ වුණු පුද්ගලයකු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික ජීවිතයට පවා අපහාස වන අයුරින් මිනිත්තුවකට වඩා වැඩි කාලයක් කතා කරනු දැක ගන්න ලැබිණි. එමෙන්ම එම පුද්ගලයා 'හොරා, හොරා' යන වචනද එහිදී භාවිත කරනු දැක ගන්නට ලැබිණි.
කෙසේ වෙතත් මේ දුරකතන ඇමැතුම සම්බන්ධයෙන් 'දෙරණ' නාළිකාවටත්, වැඩසටහන මෙහෙය වූ නිවේදකයාටත් දැඩි ලෙස අප්‍රසාදය පළ කළ අලුත්ගමගේ මහතා එම දුරකතන ඇමැතුම හිතාමතාම තමාව අපහසුතාවට පත් කිරීමට සිදු කළ එකක් බව කියමින් වැඩසටහනෙන් ඉවත්ව යෑමට කටයුතු කෙළේය. එමෙන්ම අදාළ ඇමැතුම සම්බන්ධයෙන් සොයා බැලීම පොලිසියට භාර කරන බවත්, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේය.
ඒ අනුව අමාත්‍යවරයා එදින රාත්‍රි 12ට මිරිහාන පොලිසියට ගොස් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. ඉන් අනතුරුව රහස් පොලිසියටත්, ජේයෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායක මහතාටත් මේ සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිලි කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් ඊයේ (4දා) දිනයේදී මිරිහාන විශේෂ අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකය විසින් කරනු ලැබූ පරීක්ෂණවලදී එම ඇමැතුම ලැබුණු අංකය 0712 781811 බවත්, එය රන්ජන් රාමනායක මහතාගේ නමට ලියාපදිංචි කොට ඇති බවත් අනාවරණය කරගෙන ඇත.
එම අංකය ලියාපදිංචි කිරීමට ලබා දී ඇති ලිපිනය වශයෙන් සඳහන් වී ඇත්තේ 'රන්ජන් රාමනායක, අංක 4ඩී, පාර්ලිමේන්තු නිවාස සංකීර්ණය, මාදිවෙල, කෝට්ටේ' ලෙසය.
එමෙන්ම හැඳුනුම්පත් අංකය ලෙස 630710448ඍ යන අංකය හැඳුනුම්පතේ සඳහන් ලිපිනය ලෙස 26/9, සී. එස්. ඒ. පෙරේරා මාවත, මොරටුව යන ලිපිනයද සඳහන් වී තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම අමාත්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරමින් අදාළ දුරකතන ඇමැතුම ලබාදුන් පුද්ගලයා පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසත්, ඔහුට විරුද්ධව අපහාස නඩුවක් පැවැරීමට තමා බලාපොරොත්තු වන බවත් සඳහන් කොට ඇති බවයි.
මේ පිළිබඳව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකය ඊයේ උදේ පරීක්‍ෂණ ආරම්භ කරන ලද බව විමර්ශන පවත්වන උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
ඇමැතිවරයාට අපහාස වන අයුරින් දුරකතන සංවාදය ඇතිවූ අවස්ථාවේ එය ක්‍ෂණිකව නතර කර ගැනීමට අපහසු වීම පිළිබඳවද පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අමසිරි සේනාරත්න මහතාගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිමල් කරුණාරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
See more - www.mawbima.lk/86-73953-news-detail.html