19 January, 2015
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාට පෙරදී ලැබූ සිරදඬුවමෙන් පූර්ණ නිදහසක් හිමිවන්නේ නම් ඔහුට නැවත පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීමේ හැකියාව පවතින බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.
සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී එය නැවත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට සූදානම් බවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ගුවන් විදුලි නාලිකාවක් මහානාමහේවා මහතාගෙන් කල විමසීමට අනුව ඒ මහතා මේ බව පවසා ඇත.
ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ වරදක් සම්බන්ධයෙන් වැරදිකරුවී සිරදඬුවම් ලබාදී ඇත්නම් විධායක ජනාධිපතිවරයෙකුට ඊට පූර්ණ නිදහසක් ලබාදිය හැකි බවයි.
ෆොන්සේකා මහතා 2010 පැවති මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ අතර ඔහුට සිරදඬුවම් නියමවීමෙන් පසු ඊට පසු එම ලැයිස්තුවේ සිටි ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා එම ක්‍රියාවලියට විරෝධයපා මන්ත්‍රී ධූරයේ දිවුරුම් නොදුන් අතර ඊට පසු එම ලැයිස්තුවේ සිටි කැටගොඩ මහතා එම ධූරයේ දිවුරුම් දුන්නේය.