Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

රාජ්‍ය නිලධාරීන් 5500කට අල්ලස් දූෂණ චෝදනා

04 December, 2013

රාජ්‍ය නිලධාරීන් 5500කට අල්ලස් දූෂණ චෝදනා

2012 නිලධාරීන් 3160ක් 2013 නිලධාරීන් 2310ක්

 

2012 - 2013 වර්ෂවලදී රාජ්‍ය නිලධාරීන් පන්දහස් පන්සියයකට පමණ අල්ලස් දූෂණ සහ වත්කම් චෝදනා එල්ල වී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ප්‍රකාශ කරයි. ඒ අතරින් 2012 වර්ෂයේදී රාජ්‍ය නිලධාරීන් 3160 දෙනකුටද 2013 වර්ෂයේ පසුගිය සැප්තැම්බර් දක්වා රාජ්‍ය නිලධාරීන් 2310 කටද ‍එම චෝදනා එල්ල වී ඇත.

මේ රාජ්‍ය නිලධාරීන් අතරින් අල්ලස්, දූෂණ සහ වත්කම් චෝදනා වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ අධ්‍යාපන, පොලිස්, සෞඛ්‍ය සහ ප්‍රාදේශීය ලේකම් යන ක්ෂේත්‍රවල නිලධාරීන්ට වෙයි.

දේශපාලනඥයන් 9 දෙනකුටද අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් වැඩි පිරිසකට එල්ල වී ඇත්තේ වත්කම් සහ දූෂණ‍ චෝදනා වලට අදාළ පැමිණිලි වෙයි.

2012 වර්ෂයේදී අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලි 3160න් 440ක් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධව එල්ල වූ ඒවා වෙයි. පොලිසියට පැමිණිලි 378, ප්‍රාදේශීය ලේකම් 170ක් සහ සෞඛ්‍ය 177ක් ද වෙයි. 2013 වසරේ සැප්තැම්බර් මාසය දක්වා ලැබුණ පැමිණිලි සංඛ්‍යාව 2310කි. ඒ අතරින්ද ඉදිරියෙන්ම සිටින්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විදුහල්පතිවරු, අමාත්‍යාංශ නිලධාරීන් ආදිය වෙයි.

රාජ්‍ය නිලධාරීන් විසින් අල්ලස් ගැනීම්, දූෂණ වංචා හරහා රාජ්‍ය වැඩකටයුතුවලදී සිදු කරන විවිධ අක්‍රමිකතා, රාජ්‍ය සේවයේ යෙදී සිටියදී උපයාගත නොහැකි තරම් වූ ආදායම් උපයා ගැනීම් විශාල ප්‍රමාණයක්ද වෙයි. අල්ලස් කොමිසම වෙත ලැබුණ එහෙත් අල්ලස් පනත යටතේ විභාග කළ නොහැකි පැමිණිලි රාශියක් අධ්‍යාපන හා ඒවාට අදාළ ආයතන වෙත යවා ඇත.

එහෙත් එම ආයතන එම පැමිණිලි සම්බන්ධව නිසි විභාග කිරීමක් සිදු නොකරන බව අල්ලස් කොමිසමට පෙනී ගිය නිසා අල්ලස් කොමිසම මඟින් අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනකු ගෙන්වා එම පැමිණිලි සම්බන්ධව ක්‍රියා නොකිරීමට හේතුවද විමසූ බව කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බාලපටබැඳි මහතා පැවසීය.

අල්ලස් කොමිසම වෙත මහජනතාව එවන පැමිණිලි අතරින් වැඩි ප්‍රමාණයක් අල්ලස් පනත යටතේ විභාග කළ නොහැකි ඒවා බැවින් පනත යටතේ විභාග කළ හැකි ඒවා එවන ලෙස කොමිසම මහජනතාවගෙන් ඉල්ලා සිටියි. අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන්, විදුහල්පතිවරු අල්ලස් ගැනීම් වැඩි වශයෙන් සිදු කර ඇත්තේ අතරමැදියන් හරහාය.

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී සහ ඇතුළත් කිරීමෙන් පසු විවිධ පාර්ශවයන් සඳහා යැයි අල්ලස් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් විදුහල්පතිවරු රැසකට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මේ පැමිණිලි සම්බන්ධව කොමිසම සිදු කළ පරීක්ෂණවලින් විශාල ප්‍රමාණයකට සාක්ෂි ද සහිතව හෙළිදරව් කර ගැනීමට හැකිවී තිබේ.

ඒවාට සම්බන්ධ පුද්ගලයන් ගණනාවකට එරෙහිව නඩු පවරා ඇත. තවත් ඒවා විමර්ශනය වෙමින් පවතින බවද අල්ලස් කොමිසම පවසයි. ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් ඊයේ(03) එම කොමිසමේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී කොමිසමේ සභාපතිවරයා මේ තොරතුරු හෙළිදරව් කළේය.

කොමිසමේ සෙසු සාමාජිකයන් වන හිටපු පොලිස්පති ආචාර්ය ජයන්ත වික්‍රමරත්න, හිටපු අභියාචනාධිකරණ විනිසුරු එල්.කේ. විමලචන්ද්‍ර, කොමිසමේ ජෙනරාල් ලක්ෂ්මී ජයවික්‍රම මහත්මියද මේ අවස්ථාවට සහභාගී වූහ.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks