26 September, 2016
පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ කොට්ඨාස සීමා නිර්ණ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබුණද පනතේ පවතින නෛතික ගැටලු නිසා මැතිවරණය පැවැත්වීම මාර්තු මාසය දක්වා කල් යන බව ජාතික පුවත්පතක් අද (26) වාර්තාකර ඇත.
එම පුවත්පත් වාර්තාව පෙන්වාදෙන්නේ සීමා නිර්ණ කටයුතුවලට අනුව කොට්ඨාස 5,288 ක් නිර්මාණය වී තිබෙන අතර, ඉන් 427 ක් බහු ආසන වශයෙන් නම්කර ඇති බවයි. එමෙන්ම සීමා නිර්ණ කටයුතු අවසන් කළද අදාළ කොට්ඨාසවල සිතියම ඇඳීම හා භාෂා තුනෙන් අදාළ පරිවර්තන සිදු කිරීම සඳහා යම් කාලයක් ගතවන බවද සීමා නිර්ණ කොමිෂන් සභාව පෙන්වාදී ඇති බවද එම පුවත්පත් වාර්තාව සඳහන් කරයි.
එබැවින් සම්පූර්ණ වාර්තාව බාරදීම ඔක්තෝබර් 31 වැනිදා වනවිට සිදුකරන බවට එම කොමිසමේ සභාපති අශෝක් පීරීස් මහතා එම ජාතික පුවත්පත වෙත පෙන්වාදී ඇත.
කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභා සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත්තේ සීමා නිර්ණය කටයුතු අවසන් කළද නෛතික ගැටලු කිහිපයක් විසඳීමට තිබෙන බවත්, මේ නිසා නෛතික ගැටලු අවසන් කළද මැතිවරණ කොමිසමට උපරිම දින 90 ක කාලයක් අවශ්‍ය බවත්ය.
සම්පූර්ණ කටයුතු අවසන් කර දෙසැම්බර් මාසයේදී මැතිවරණය පැවැත්වීමට සිදු වුවද එම මාසයේදී අධ්‍යයන පොදු සහතික සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිසා එම මාසය තුළ මැතිවරණ නොපැවැත්වෙන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙන්වාදී ඇත. තවද සීමා නිර්ණ කටයුතු අවසන් කර නෛතික කටයුතු නොවැම්බර් මාසය වනවිට අවසන් වෙතැයි බලාපොරොත්තු වන බවද මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත.