19 July, 2018
ආණ්ඩුවේ උත්සාහය වී ඇත්තේ කුමන පදනමින් හෝ මැතිවරණ පැවැත්වීම ප්‍රමාද කිරීමට අවශ්‍ය තාක්ෂණික පසුබිම් සකස් කිරීම බව පා.ම ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම වෙනුවෙන් වන සිවිල් සමාජ කමිටුව සමග ඊයේ පැෆ්රල් සංවිධානයේදී පැවති සාකච්ඡාවකදීය.
එහිදී අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේ පළාත් සභා මැතිවරණ ක්‍රමය සමාලෝචනය සම්බන්ධයෙන් වන සිවිල් සමාජ කමිටුව සිය කාර්යභාරය ඉතා පරිස්සමෙන් සිදුකල යුතුව ඇති බවයි. ආණ්ඩුවේ මැතිවරණ පැවැත්වීම කල්ගැනීමේ උපායමාර්ග සඳහා මෙම කමිටුව මෙවලමක් කරගැනීමට ආණ්ඩුව උත්සාහ කරනු ඇති බවත් එසේ හෙයින් කමිටුව ප්‍රවේශම් විය යුතු බවත් අලහප්පෙරුම මහතා පැවසීය.
එහිදී අදහස් දැක්වූ පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසූයේ කුමන ක්‍රමයකට පැවැත්වූවද වැදගත් වන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් මැතිවරණ පැවැත්වීම සිදුකල යුතු බවයි.
මෙම සාකච්ඡාව සදහා මහාචාර්ය සුදන්ත ලියනගේ, ආචාර්ය සුජාතා ගමගේ, පී.එම් සිරිවර්ධන, එස්. මැදවැව, ලුවී ගනේෂනාදන්, කුමුදුනී සැමුවෙල්, රෝහණ හෙට්ටිආරච්චි, මංජුල ගජනායක හා අමාර් ගුණතිලක යන මහත්ම මහත්මීන් සහභාගීවී සිටියේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පා.ම ඩලස් අලහප්පෙරුම, පා.ම රංජිත් සොයිහා හා පා.ම ජානක වක්කුඹුර යන මහත්වරුන් සහභාගීව සිටියහ.