Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

බදුල්ල ගිනියම් කළ හරීන්-නාමල් රහස් හමුවේ ඇතුළු පැත්ත

01 September, 2014

බදුල්ල ගිනියම් කළ හරීන්-නාමල් රහස් හමුවේ ඇතුළු පැත්ත



උෟව පළාත් සභා මැතිවරණය ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමඟ එජාපයෙන් එහි මහ ඇමැති අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වන බව කියැවුණේ හරීන් ප්‍රනාන්දුය. නමුත් උෟවේ එජාප මහ ඇමැති අපේක්‍ෂකයා වශයෙන් හරීන්ගේ නම එළියට පැමිණීමත් සමඟම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් හරීන් පිළිබඳ විශේෂ රහසක් හෙළිදරව් කෙරිණි.

ඒ රහස හෙළි කළේ වෙන කවුරුවත් නොව බදුල්ලේ සන්ධාන මන්ත්‍රි උදිත ලොකුබණ්ඩාරය. මාධ්‍යයට විශේෂ සාකච්ඡාවක් ලබාදෙමින් උදිත හෙළිදරව් කර සිටියේ හරින් මෙවර පළාත් සභා මැතිවරණයට එජාපයෙන් පැමිණ සිටියත්, ඊළඟ මැතිවරණයේදී නියත වශයෙන්ම සන්ධාන නාමයෝජනා ලැයිස්තුවෙන් හරීන් ඉදිරිපත් වන බවකි. එහිදී ඒ බව තහවුරු කළ හැකිද යනුවෙන් මාධ්‍යවේදියා විමසා සිටිද්දී උදිත කියා තිබුණේ තමන් සතුව ඒ සම්බන්ධ සියලු හඬ පට සමඟ සාක්‍ෂි ඇතැයි කියාය.
මෙම මාධ්‍ය සාකච්ඡාව පළවීමත් සමඟ හරීන් ප්‍රසිද්ධියේම කියා සිටියේ, තමන් කිසිදු අවස්ථාවක එජාපය හැර දමා ආණ්ඩුවට එකතු නොවන බවත්, තමා සම්බන්ධයෙන් ආණ්ඩුවේ මාධ්‍ය අසත්‍ය පුවත් පළකරන බවත්ය. හරීන් එසේ කියා සිටියද පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ එක්තරා සිදුවීමකින් හරීන් ආණ්ඩුවත් සමඟ සහ ආණ්ඩුවේ නියෝජිතයන් සමඟ හොර රහසේ පවත්වාගෙන යන සම්බන්ධය ප්‍රසිද්ධියේම එළියට ආවේය.


ඒ, බදුල්ලේ උෟවපරණගම පිහිටි සන්ධාන මන්ත්‍රි චාමික බුද්ධදාසගේ නිවෙසේදී හරීන් නාමල්ව හොර රහසේ මුණගැසී ඔහු සමඟ රහස් සාකච්ඡාවක් පැවැත් වූ බව එළියට ඒම හරහාය. නාමල් ඉකුත් බදාදා දින බණ්ඩාරවෙල, හපුතලේ, දෙමෝදර ආදී ප්‍රදේශ කිහිපයක සිය නිල් බළකාය මඟින් මෙහෙයවන රැස්වීම් කිහිපයකට සහභාගි වී දිවා ආහාරය ගැනීම සඳහා පැමිණියේ චාමික බුද්ධදාසගේ උෟවපරණගම පිහිටි නිවෙසටය. නාමල් සමඟ ඊට සී.බී. රත්නායක, උදිත ලොකුබණ්ඩාර ආදී පිරිසක්ද සහභාගි වී සිටි අතර, චාමිකගේ නිවෙසට පැමිණි සැණින් නාමල්ගේ දුරකතනයට දුරකතන අංකය නොපෙන්වන පෞද්ගලික අංකයකින් (ර්ථීපඪමචබඥ දභථඡඥප) ඇමතුමක් ලැබිණි.


"කවුද මේ ප්‍රයිවට් නම්බර් එකකින් මට කතා කරන කෙනා...... සමහර විට නම කියන්න බය පොරක් වෙන්න ඇති" යැයි අසල සිටි අයට ඇසෙන්නට කී නාමල් එම ඇමැතුමට පිළිතුරු දෙද්දී නාමල්ගේ ඇස් උඩ යනු සියල්ලන්ටම දැකගත හැකි විණි.
"ආ.... මචං උඹද..... කොහොමද කොහොමද ටික දවසකින් කතා කළෙත් නෑනෙ. ඉතින් ඉතින්.... කොහොමද.... ආ, එන්න එන්න.... මම ඉන්නවා.... හම්බවෙලාම කතා කරමු.... හරි හරි ඒ ගැන බය වෙන්න එපා.... ඒක මම ඒ අයටත් කියන්නම්" ආදී වශයෙන් නාමල් පිළිතුරු දෙනු දුටු සීබීටත්, උදිතටත්, චාමිකටත් නාමල් සමඟ දුරකතනයෙන් කතා කළේ කවුරුන්ද යන්න දැනගන්නා තෙක් ඉස්පාසුවක් තිබුණේ නැත.


"කවුද කතා කළේ, දන්න කෙනෙක්ද.... මොකක් හරි ප්‍රශ්නයක්ද...." ආදී වශයෙන් චාමික විමසද්දී නාමල් සියල්ලන්ටම තමන් ළඟට එන ලෙස සංඥා කොට දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා පිළිබඳව කියන්නට පටන් ගත්තේය.


"උඹල දන්නවද මට කවුද කතා කළේ කියලා.... මට කතා කළේ හරීන්" යැයි නාමල් කියද්දී සීබීගේත්, උදිතගේත් චාමිකගේත් ඇස් උඩ ගියේය.
"හරීන්ට මම මෙහෙ ආපු එක ආරංචි වෙලා. ඒකයි උෟ මට කතා කළේ. උෟ මට කතා කළාම ඉතින් මම කිව්වා මේ පැත්තට වරෙන් තේ එකක් බොන්න කියලා. දැන් උෟ එන ගමන් ඉන්නෙ. හැබැයි උෟ මගෙන් පොඩි ඉල්ලීමක් කළා. ඒ තමයි උෟ එන එක කොහෙත්ම ලීක් කරන්න එපා කියලා. ඒ වගේම ෆොටෝ ගහන්නත් එපා කියල කිව්වා. ඒ හින්ද අපේ මීඩියා ටීම් එකේ කට්ටියව යවන්න. උඹලත් කොහෙත්ම කියන්න එපා හරීන් ඇවිල්ල මාව හම්බවුණා කියලා" යනුවෙන් නාමල් පිරිසට කියද්දී චාමික වහාම සිය බිරිය වූ පවිත්‍රාට කියා සිටියේ හරීන් තව සුළු මොහොතකින් නිවෙසට පැමිණෙන නිසා ඔහුටද තේ පිළියෙල කර තබන ලෙසටය.


කිව්වා වාගේම සුළු මොහොතක් ගත වෙද්දී චාමිකගේ නිවෙස ඉදිරිපිට වේගයෙන් පැමිණි කළු වීදුරු සහිත ජීප් රථයක් නැවැත්විණි. එසේ පැමිණ වාහනයෙන් තනිවම එළියට බැස්ස හරීන් වටපිට බලමින් ඉක්මනින්ම චාමිකගේ නිවෙසට ඇතුළු වුණේ "කොහොමද මචං" යනුවෙන් නාමල්ව ආමන්ත්‍රණය කරමිනි. ඒ සමඟම හරීන්ව තදින් වැළඳගත් නාමල්ද, "මම හොඳින් මචං, මොකද මේ උඹ හොඳටම කෙට්ටු වෙලා.... යනුවෙන් විමසද්දී හරීන් කීවේ "අනේ ඔව් බං, මේ දවස් ටිකට මාව ඇදිල ගියා...." යැයි කියාය. ඉන් අනතුරුව නාමල් හරීන්ගේ කරට අත දාගෙන කෙළින්ම ඔහුව රැගෙන ගියේ තේ මේසයටය. ඒ අනුව තේ මේසයේ වාඩිවුණු හරීන්, නාමල්, චාමික, උදිත ඇතුළු පිරිස මේ දිනවල සිදු කෙරෙන ඡන්ද කටයුතු පිළිබඳවත්, ආගිය තොරතුරු පිළිබඳවත් එකිනෙකාට විහිළු තහළු කරගනිමින් චාමිකගේ බිරිය වූ පවිත්‍රා සකස් කර තිබූ තේපැන් සංග්‍රහය භුක්ති විඳීමට කටයුතු කළහ. තේපැන් සංග්‍රහයෙන් අනතුරුව හරීන් නාමල් සමඟ විනාඩි 10ක පමණ කෙටි දේශපාලන සාකච්ඡාවක් පැවැත්වීමටද කටයුතු කළේය.


කෙසේ වෙතත් චාමිකගේ නිවෙසේ පැවැති මෙම හමුව නිමා කොට නාමල්ගෙන් සමුගෙන එළියට පැමිණෙද්දී උදිත නෝන්ඩියට මෙන්, "එහෙනම් විපක්‍ෂ නායකතුමාට ජයවේවා!" යැයි කියද්දී සිනාසෙමින් ආපසු හැරුණු හරීන් කීවේ, "අනේ එහෙම කියන්න එපා මචං. උඹල දැන්ම ඉඳලා මාව නෝන්ඩි කරනවනෙ" යැයි කියාය.
මේ ආකාරයට හරීන් නාමල්ට කතා කොට චාමිකගේ නිවෙසේදී හොර රහසේම නාමල්ව මුණ ගැසීම එළියට නොදමන ලෙස හරීන් නාමල්ගේ පාර්ශ්වයෙන් පොරොන්දුවක් ගත්තද, හරීන් එම නිවෙසින් පිටව ගොස් මොහොතක් යන්නට මත්තෙන් ඔහුගේ මෙම ගමන පිළිබඳව බදුල්ලේ අනෙකුත් එජාප අපේක්‍ෂකයන්ටත් මන්ත්‍රිවරුන්ටත් දැනගන්නට ලැබිණි. ඒ අනුව ඔවුන් වහාම කළේ මේ සම්බන්ධයෙන් පක්‍ෂ නායක රනිල්ටත්, මහලේකම් තිස්සටත් පැමිණිලි කිරීමය.


"සර්ලා දන්නවද මෙහෙ වෙලා තියෙන අලුත්ම දේ. අන්න හරීන් චාමිකලගෙ ගෙදරට හොරෙන්ම රිංගලා නාමල්ව හම්බවෙලා. දෙන්නත් එක්ක කරට අත දාගෙන කාල බීල ආවා කියල බදුල්ලෙ හැමතැනම දැන් කතා යනවා. හැමෝම කියන්නෙ අපි මේ ඡන්දෙ දින්නත් පැරැදුණත් හරීන් ආණ්ඩුවට යනවා කියලයි. මෙහෙ අය නම් කියන්නෙ ඊළඟ ජනාධිපතිවරණයේදී හරීන් අනිවාර්යයෙන්ම ආණ්ඩුවට යනව කියලයි. ඉතින් අපි කොහොමද රෙද්දක් ඇඳන් මෙහෙ ඡන්දෙ කරන්නෙ. මේ මනුස්සයා එයාගෙ විතරක් නෙවෙයි, අපෙත් රෙදි ගැලෙව්වා. අපිටත් දැන් වෙන්නෙ පැරැදිලා ගෙදරට වෙලා ඉන්න" යනුවෙන් රනිල්ටත්, තිස්සටත් කී මෙම අපේක්‍ෂකයෝ වහාම මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ.

 

Source - www.mawbima.lk/98-66688-news-detail.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks